Tuesday, July 28, 2015

උඩරට චාරිකාව - 24



දැන් අපි ලගාවන්නේ දෙමෝදර දුම්රිය ස්ථානයටයි. මෙය මුහුදු මට්ටමේ සිට මීටර් 911 ක් උසකිනි.  මෙහි සුවිශේෂිත්වය කියන්න කලින් මිට හේතු වුනු අතීත කතාව දැනගන්න ලැබුනේ දුම්රිය ස්ථානයේ නිලදාරින්ගෙන්,  1921 දී බදුල්ල දක්වා දුම්රිය මග ඉදිකිරීමේදී හමුවුණු විවීධ බාධක ජයගත් බ්‍රිතාන්‍යන්  දෙමොදරදී මුහුණ දුන්නේ ඇති දුෂ්කර ගැටලුවකට. ඊට හේතුව මෙතනින් ඉදිරියට මාර්ගය තනන්නේ නම් සීග්‍ර බැස්මක් සහිතව තියුණු වංගුවක් ගැනීමට සිදුවීමයි. ආසන්න වශයෙන් අංශක 90 ක්  පමණ තද වංගුවක් ගන්නේ කොහොමද ? මේ එදා සුද්දෝ මුහුණ දුන් ප්‍රධානම අභියෝගය එයයි. මෙයට පිළිතුර ලබා දුන්නෙත් කීර්තිමත් ශ්‍රී ලාංකිකයෙක් වන DJ විමලසුරේන්ද්‍ර මහතායි. මෙම බාධක දෙකම එක වර ජයගත හැකි වුයේ දුම්රිය ස්ථානයට ඉදිරියෙන් පිහිටි කන්ද වටා ගොස් නැවත දුම්රිය ස්ථානයට අඩි 70-80 ක් පමණ පහලිනි පිහිටි බිම්ගෙයක් තුලින් ගමන් කිරීමෙන්. මෙහි කන්ද වටා රවුම යාර 990 ක් පමණ වෙන අතර උඩරට දුම්රිය මාර්ගයේ අංක 42 බිම්ගෙය දුම්රිය ස්ථානයට හරියටම යටින්  ඉදිවන්නේ බදුල්ල දක්වා දුම්රිය මග තැනීමට තිබු අසීරුතම බාධාව ඉවත් කරමිනි.මෙය LOOPING IN LOOP ලෙස හදුන්වනු ලබනවා. 


මෙහෙදී සිදුවන්නේ ඇල්ල සිට දෙමොදරට පැමිණෙන   දුම්රිය බදුල්ල බලා ගමන් කිරීමේදී ඉදිරියෙන් ඇති කන්ද වටා ගොස් දුම්රිය ස්ථානයට යටින් පිහිටි බිම්ගෙයක් ඔස්සේ බදුල්ල දෙසට ගමන් කිරීමයි. මෙම ක්‍රමය එකල මෙහි විසු සිංහල ගැමියෙක් (ගොපල්ලෙක්) තම හිස බැදී ජටාව පෙන්වා ඒ ආකාරයට ඉදි කරන ලෙස පැවසු බවද කියවෙනවා, කෙසේවෙතත් දෙමොදරට සමු දුන් අපි බදුල්ල බලා ගමන් ඇරඹුවා. මෙම සුවිශේෂී නිර්මාණය දෙමෝදර දුම්රිය පොලට මනාව දිස්වෙනවා, කන්ද වටා ගමන් කල අපි අංක 42 බිම්ගෙය තුලට ඇතුළු වන විටම ඒ මත පිහිටි දෙමෝදර දුම්රිය ස්ථානය පැහැදිලිව දකින්නට පුළුවන්. අනෙක් පසින් මතු වූ අපි මීලගට පිවිසියේ තවත් සුවිශේෂී පාලමක් වෙතටයි. බදුලු ඔයේ ශාකාවක් වන දෙමෝදර ඔය මත ඉදිවුන මෙම පාලම ඉදිකර ඇත්තේ ඔයේ පළලම ස්ථානයක් හරහා, උසින් අඩි 70 ක් පමණ වන මෙම පාලම පසු කරමින් උඩරට දුම්රිය මාර්ගයේ හමුවන අවසන් බිම්ගෙය වන අංක 43  බිම්ගෙය  ද පසුකල අපි ලගවුනේ හාලි ඇල වෙතටයි. ඒ උඩුවර උප දුම්රිය ස්ථානය පසු කරමිනි.  ඓතිහාසික බෝගොඩ ලී පාලම මෙම ප්‍රදේශයේ සුවිශේෂී ස්ථානයක් වෙනවා. එනම් එය ලංකාවේ පියස්සක් සහිත එකම පාලම වීමයි. කොළඹ බදුල්ල මහාමාර්ගයද මේ වන විට දුම්රිය මාර්ගයට සමාන්තරව ගමන් කරනු ලබනවා. මෙම ප්‍රදේශය නිරතුරුවම නායයාම්වලට ලක්වෙන ප්‍රදේශයක්. හාලි ඇල ද පසු කරමින් මේ අපි ලගාවන්නේ අපේ උඩරට චාරිකාවේ ගමනාන්තයටයි. ඈතට විහිදී ගිය නමුනුකුල කදුවැටියට අභිමුකව පිහිටි බදුල්ල දුම්රිය ස්ථානයට අපි ලගාවුයේ අපේ උඩරට චාරිකාවේ අවසානය සනිටුහන් කරමිනි. බ්‍රිතාන්‍ය සම්ප්‍රදායට අනුව කළුගලින් නිමවූ ආරුක්කු සහිත ආලින්දය දුම්රිය ස්ථානයට එක්කළේ ගාම්භීර බවක්. ඉදිරියෙන් ඇති නමුනුකුල කදුවැටියේ උසම ස්ථානය මීටර්  2036ක් වෙනවා. මේ ප්‍රදේශයට ආවේනික සිසිල් දේශගුණයක් පැවතුනද මේ මුළු ඌව ද්‍රෝනියම වියලි කාලගුණයක් සහිත ප්‍රදේශයක්. මුතියංගන රජමහා විහාරය , දුන්හිද ඇල්ල ඇතුළු සුවිශේෂී සංචාරක ඉසව් කීපයකටම මෙම ප්‍රදේශය ප්‍රසිද්දියක් උසුලනවා . 

DEMODARA- 911.06m
UDUWARA
HALI ELA- 732.71m
BADULLA-652.43m

"බොරළු ඇනෙන පය රිදවන වෙහෙස මදක් නිවාගන්න......
ඔබේ සතුටු මුහුණ අපට ටිකක් හොදින් බලාගන්න.......
මහත්වරුනි බදුලු ඔයෙන් කිරිකදුලක් අපිත් ගන්න....
කාසි ඇතොත් මේ බෙලිමල් කදුළු වතුර ටිකක් බොන්න ......."

දුම්රිය ස්ථානයන් 90ක්  , බිම්ගෙවල් 43 ක් හා සුවිශේෂී පාලම් , දිය ඇලි , කදුවැටි , ගංගා පසුකරමින් කිලෝමීටර් 290 ක් පැය 8ක් පුරාවට අප පැමිණි අපගේ උඩරට චාරිකාව මෙතනින් අවසන් වෙනවා.

චාරිකාව ආරම්භයේ සිට අවසානය දක්වාම අප සමග රැදීසිටි සියලුම දෙනාට අපගේ කෘතඥතාව පල කර සිටින අතර යලිත් මෙවන් වූ සුන්දර චාරිකාවක් සමග කෙදිනක හෝ මුනගැසෙමු.

චාරිකාවේ සමාප්තිය......................................!

මේ වනවිට අප පසුකල දුම්රිය ස්ථාන :
88 - Demodara
89 - Uduwara
90 - Hali Ela
91 - Badulla

Author - Dushantha Nanayakkara

Help - Thilanga Udara
           Sameera Wijethunghe













අප පැමිණි ගමන් මග

No comments:

Post a Comment