Monday, June 29, 2015

උඩරට චාරිකාව - 05


දුම්රිය මාර්ගය දෙපස ඇති වෙල්යායවන්

දැන් අප රාගම දුම්රිය ස්ථානයෙන්ද නැවත ගමන් ඇරඹුවෙමු. අපගේ මීලග දුම්රිය නැවතුම වන්නේ ගම්පහ දුම්රිය ස්ථානයයි. රාගම දුම්රිය ස්ථානයෙන් දුම්රිය මාර්ගය පර්යන්ත  2කට බෙදී තිබුනද අග ගමන්මග වැටී ඇත්තේ උඩරට දිශාවට හෙයින් අප ගමන් කරනුයේ ප්‍රරධාන මාර්ගය ඔස්සේය. හලාවත පුත්තලම දෙසට තවත් මාර්ගයක් යොමුවී ඇත.

අප ඉදිරියට යත්ම ප්‍රථමයෙන් අප නෙත ගැටෙනුයේ වල්පොල දුම්රිය ස්ථානය වෙතයි. රාගම දුම්රිය ස්ථානයේ සිට වල්පොල දුම්රිය ස්ථානය දක්වා වැටීඇත් දුම්රිය මාර්ගය හරහා අතීතයේ විශාල පස් කන්දක් තිබී ඇත. මෙම දුම්රිය ස්ථාන දෙක අතර දුරෙන් සෑහෙන පමන දුරකට මෙය පැවතී ඇත. එම නිසා දුම්රිය මාර්ගය සෑදීමේදී වෙනත් ඉසව්වකින් දැමීමට නිර්දේෂ වී පැවතුනද කාලය හා ශ්‍රමය සලකා නැවත මෙම පස් කන්දම සිදුරු කිරීමෙන් දුම්රිය මාර්ගය මේ මැදින්ම යොදවා ඇත. මෙම ක්‍රියාව සදහා දේශීය කම්කරුවන්ගේ සහයෝගය ගෙන ඇත.

මෙසේ අප වල්පොල දුම්රිය ස්ථානයද බටුවත්ත දුම්රිය ස්ථානයද බුලුගහගොඩ දුම්රිය ස්ථානයද පසු කලෙමු. වල්පොල බටුවත්ත හා බුලුගහගොඩ යන දුම්රිය ස්ථානයන් 3 ම පිහිටා ඇත්තේ තනි අක්ෂයක් ඔස්සේය. එක් දුම්රිය ස්ථානයක සිට බැලූවිට අනෙකුත් දුම්රිය ස්ථාන දෙක පැහැදිලිව දැකගත හැක. අප කෙමෙන් කෙමෙන් බුලුගහගොඩ දුම්රිය ස්ථානයත් පසුකර ඉදිරියට ඇදෙනවාත් සමගම අප කාගේත් නෙත් සිත් පැහැරගන්නේ දුම්රිය මාර්ගය දෙපස ඇති වෙල්යායය. දුම්රිය මාර්ගය දෙපසම හරිත වර්නයෙන් දිස්වීමෙන් කියාපාන්නේ අමුතුම සුන්දරත්වයකි.

දුම්රිය මාර්ගය දෙපස ඇති වෙල්යායවන්

බුලුගහගොඩ දුම්රිය ස්ථානය හා ගණේමුල්ල දුම්රිය ස්ථානය අතර දර්ශණීය වංගුවක්ද දක්නට ලැබේ. මේ අපගේ චාරිකාවේදී අපට හමුවන පලමු දර්ශණීය වංගුවද වේ. ඉන්පසු පිලිවෙලින් ගණේමුල්ල  හා යාගොඩ දුම්රිය ස්ථානයන් පසු කරමින් අප චාරිකාවේ දෙවන දුම්රිය නැවතුම්පොළ වන ගම්පහ දුම්රිය ස්ථානය වෙත ලගා වුනි.

ගම්පහ දුම්රිය ස්ථානය යනු ප්‍රධාන මාර්ගයේ අපට හමුවන 15 වන දුම්රිය ස්ථානයවේ. මුහුදු මට්ටමේ සිට 10.97m ක උසින් පිහිටා ඇති මෙම දුම්රිය ස්ථානයට කොළඔ කොටුව දුම්රිය ස්ථානයේ සිට ඇති දුර වන්නේ 28Km වේ. වේදිකා ත්රිත්වයකින් ගම්පහ දුම්රිය ස්ථානය සමන්විත වෙයි. ගම්පහ දුම්රිය ස්ථානයෙන්ද අප දුම්රියට සැලකිය යුතු පිරිසක් ගොඩවූ අතර යම් පිරිසක්ද දුම්රියෙන් බැස ගියේ අලුතෙන් ගොඩවන මගීන්ට ඉඩ සපයන්නාක්මෙනි. ඉන් පසු අප දුම්රිය ගම්පහ දුම්රිය ස්ථානයෙන්ද ගමන් ආරම්භ කිරීමට පූර්ව සංඥා නිකුත් කර ගමන් ආරම්භ කෙරුනි.

අද දිනයට සමාප්තිය......................................

මේ වනවිට අප පසුකල දුම්රිය ස්ථාන :-
10 - Walpola
11 - Batuwaththa
12 - Bulugahagoda
13 - Ganemulla
14 - Yagoda
15 - Gampaha

Author - Dushantha Nanayakkara

*****මෙහි අන්තර්ගත සියලුම කරුනු සම්බන්ධ අයිතිය මෙය සැකසු රචකයා වන මා සතුවන අතර මෙහි අන්තර්ගත කිසිවක් රචකයාගේ නිසි අවසරයකින් තොරව කිසිදු මාධ්‍යයක් තුලට අන්තර්ගත කිරීම වරදකි. මෙහි ඇති ඇතැම් චායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලද චායාරූප වේ*****






වල්පොල දුම්රිය ස්ථානය
බටුවත්ත දුම්රිය ස්ථානය
ගනේමුල්ල දුම්රිය ස්ථානය
ගනේමුල්ල දුම්රිය ස්ථානයේ මගී පාලම
ගම්පහ දුම්රිය ස්ථානය
ගම්පහ දුම්රිය ස්ථානය








චාරිකාවේ අප දැනට සිටින්නාවූ ස්ථානය

Sunday, June 28, 2015

උඩරට චාරිකාව - 04





අප ගමන්ගන්නා දුම්රිය මේ වනවිට මරදාන දුම්රිය ස්ථානයද පසු කරගෙන ඉදිරියට ඇදෙයි. ටිකදුරක් ඉදිරියට ඇදීමේදී අප නෙත ගැටෙනුයේ දුම්රිය දෙපාර්ථමේන්තුව සතු දුම්රිය ධාවනාගාරයක් වෙතටයි. ඒ දෙමටගොඩ පිහිටි මාලිගාවත්ත දුම්රිය ධාවනාගාරය වෙතටයි. දුම්රියයන් රැසක් අලුත්වාඩියාව නිමාවී තම ධාවනයට සුදානමින් සිටිනු බවක් අපට පෙනෙන අතරම Shunting වර්ගයේ එන්ජින්ද අංගනයේ ඒ මෙ අත සැරිසරමින් සිය රාජකාරිය ඉටු කරනු බවක් දක්නට ලැබේ. එමෙන්ම තම නියමිත ධාවන වාරය අවසන් වී ධාවනාගාරය වෙක පැමින ඇති ද්ම්රියයන් කිහිපයක්ද පෙනෙන්නට ඇත. මෙය ශ්‍රී ලංකාවේ දැනට පවතින පැරණිම දුම්රිය ධාවනාගාරය ලෙසද සැලකේ. 1909 වර්ෂයේදී එය ආරම්භ කර ඇත. අප කෙමෙන් කෙමෙන් මෙම දර්ශන වලටද සමු දෙමින් අප ගමන් කරන්නාවූ දිශාව ඔස්සේ ඉදිරියට ඇදෙයි.




දැන් අපගේ නෙත ගැටෙනුයේ දෙමටගොඩ දුම්රිය ස්ථානය වෙතය. මුහුදු මට්ටමේ සිට 3.05m උසින් පිහිටා ඇති මෙයට කොළඔ කොටුව දුම්රිය ස්ථානයේ සිට 4Km ක දුරින් පිහිටා ඇත. වේදිකා 3 කින් සමන්විත වන මෙම දෙමටගොඩ දුම්රිය ස්ථානයද පසු කරගෙන අප ගමන් කරන්නේ කැළණිය දුම්රිය ස්ථානය වෙතටයි. කැළණිය දුම්රිය ස්ථානය වෙත පැමිනීමට පෙර දෙමටගොඩින් නික්මීමෙන් පසුව අපට අප ගමන්ගන්නා මාර්ගය දෙපස කොළඔ නගරයේ ඉහල යන ජනගහනයට පිලියමක් ලෙස සකස් කරන ලද මහල් නිවාස සංකීර්න කිහිපයක්ද දක්නට ලැබේ.

මෙසේ අප ඉදිරියට ඇදෙත්ම අපට හමුවන්නේ කැළණි නදියයි. සමනළ කදු පන්තියේ මුදුනින් ආරම්භ වන ජල ධාරාව මෙසේ මුහුද දෙස ගලාබසින මාර්ගයද අප දුම්රිය මාර්ගයට අංශක 90 ක ආනතියක්න් පිහිටා ඇත. කැළණි ගග උඩින් ඉදිකර ඇති පාලම මතින් දුම්රිය වර්තමානයේ ගමන් කලද අතීතයේ කැළණි නදිය මත බෝට්ටු පේලියක් එක දිගට තබා තදින් ගැටගසා ඒ මත දුම්රිය මාර්ගය අතුරා තිබූ බවද අසා ඇති නමුත් ඒ පිළිඹදව වැඩිදුර විස්තරයක් අනාවරනය නොවුනි.

කැළණි පාළම


මෙසේ අප ගමන්ගන්නා දුම්රියද කැළණි පාලම උඩින් පැමින කැළණිය දුම්රිය ස්ථානය වෙත ඇදෙයි. සුදුවතින් සැරසුනු උපාසික මාතාවන් හා සරසවි සිසුන් කිහිප දෙනෙක්ද කැළණිය දුම්රිය ස්ථානයේ සිටිනවා දිස්වේ. මෙසේ අප කැළණිය දුම්රිය ස්ථානයද පසු කරමින් පිලිවෙලින් වනවාසල , හුනුපිටිය , එඩේරමුල්ල , හොරපේ යන දුම්රිය ස්ථානද පසු කරමින් ඉදිරයට ඇදෙනුයේ අප ගමන් ගන්නා දුමිරියේ පළමුවන නැවතුම්පොල වන රාගම දුම්රිය ස්ථානය වෙතටයි. මෙසේ අප රාගම දුම්රිය ස්ථානය කරා පියමනින්නාවූ අතරතුර විශේෂිත ස්ථානයක් පසු කර යයි.

ශ්‍රී ලංකා දුම්රිය ඉතිහාසය පිළිබඳව සොයා බැලීමේ දී ප‍්‍රථම දුම්රිය පීලි පැනීම සිදුව තිබෙන්නේ 1865 වර්ෂයේ ජනවාරි දාහතර වැනිදාවකය. එසේ ප‍්‍රථම පීලි පැනීමට ලක්ව තිබෙන්නේ බැලස්ට් දුම්රියක්.

බැලස්ට් දුම්රියක් කියන්නේ දුම්රිය මග ඉදි කරන්න අවශ්‍ය කළු ගල්, පස්, සිල්පර කොට, යකඩ ප‍්‍රවාහනය කරන දුම්රියට. ශ්‍රී ලංකාවේ ප‍්‍රථම දුම්රිය මග ලෙස කොළඹ-අඹේපුස්ස දක්වා දිවෙන දුම්රිය මාර්ගයේ ඉදි කිරීම් 1864 වර්ෂයේ අවසන් වී දුම්රිය ධාවනය ආරම්භ කෙරුණත් අවසන් වූ දුම්රිය මගේ අවසන් නොවූ ඉදි කිරීම් 1965 වසර වන විටත් සිදු කෙරෙමින් පැවතුනා.

මෙම ඉදි කිරීම් කාර්යය සඳහා යොදවා තිබූ සේවකයින්ට වැටුප් ගෙවීම බාර වී තිබුණේ සීරා මාලූ නයිදු කියන පුද්ගලයෙකුට. එවකට ධාවනයේ යොදවා තිබූ ඩක්කුවකින් සිය රාජකාරි ගමන් සිදු කළ නයිදු අනතුර සිදු වූ දවසේ ගොංගිතොට හතේ කණුව ළඟින් බැස යන්නේ විශාල අනතුරකට අත වනමින් ඩක්කුව දුම්රිය මගේ නවතා තබලා.

එම අවස්ථාවේ කම්කරුවන් පිරිසක් සහ පස් පුරවා ගෙන රාගම සිට කැලණිය දෙසට ධාවනය වෙමින් තිබූ පෙට්ටි දාසයකින් යුත් බැලස්ට් දුම්රිය ගොංගිතොට හතේ කණුව ළඟ නවතා තිබූ ඩක්කුවේ ගැටී සිදු වුණු අනතුරත් සමග ශ්‍රී ලංකා දුම්රිය ඉතිහාසයේ ප‍්‍රථම දුම්රිය පීලි පැනීම සිදු වෙනවා. අනතුරට පත් බැලස්ට් දුම්රියේ පෙට්ටි දාසයෙන් දාහතරක්ම එවකට වගුරු බිමක්ව තිබූ එෙඬ්රමුල්ල  ගොංගිතොට වගුරු බිමේ ගිලී යන්නේ කම්කරුවන් තිස්හය දෙනෙක් සමග, නිලධාරියෙක් ද ජීවිතක්ෂයට පත් කරමිනි.

මෙම ඛේදවාචකය සිදුවූ ස්ථානය අපට හමුවන්නේ දැනට පවතින එඩේරමුල්ල සහ හොරපේ යන දුම්රිය ස්ථාන ද්විත්වය අතර කලාපයෙන්ය.

රාගම දුම්රාය ස්ථානයේ දුම්රිය නැවැත්වූ වහාම මගීන් පිරියක් දුම්රිය වෙත ලහි ලහියේ ගොඩවූයේ ආයනයක් වෙත පියමන් කිරීමේ අටියෙන් වීවට පුලුවන. එනමුත් කොළඔ කොටුව දුම්රිය ස්ථානයේදීම අප ගමන් ගන්නා දුම්රියේ ඇති සියලුම ආසනවල දුමිරිය මගීන් විසින් ලැගුම් ගෙන හමාරය. රාගම දුම්රිය ස්ථානය යනු අප චාරිකාවේදී අපට හමුවන ප්‍රථම දුම්රිය නැවතුම්පොලයි. එමෙන්ම රාගම දුම්රිය ස්ථානය යනු මංසන්ධි ස්ථානයකි. එනම් ප්‍රධාන දුම්රිය මාර්ගයත් පුත්තලම් දුම්රිය මාර්ගයත් එකිනෙක වෙන්වන්නේ රාගම දුම්රිය ස්ථානයෙනි. රාගම දුම්රිය ස්ථානය පිහිටා ඇත්තේ කොළඔ කොටුව දුම්රිය ස්ථානයේ සිට 15Km දරකින් වේ. රාගම දුම්රිය ස්ථානය අසලද අතීතයේ දුම්රිය අලුත්වැඩියා කිරීමේ මධ්‍යස්ථානයක් තිබූ බව ඒ අසල ඇති සුවිසල් ගොඩනැගිල්ල කියාපායි. මගීන් සියල්ල දුම්රිය වෙත ගොඩවීමෙන් පසුව දුම්රිය උප නියාමකවරයා සිය නලාව නාද කරමින් දන්වා සිටියේ දුම්රිය යලි ගමන් ආරම්භ කරන ලෙසය.

අප චාරිකාවේ මීලග දුම්රිය නැවතුම වන ගම්පහ දුම්රිය ස්ථානය වෙත පිවිසීම සදහා අප ගමන් ආරම්භ කළෙමු. මෙසේ රාගම දුම්රිය ස්ථානයෙන්ද අප සමුගත්තෙමු.

අද දිනයට සමාප්තිය......................................

මේ වනවිට අප පසුකල දුම්රිය ස්ථාන :-
01 - Colombo Fort
02 - Marandana
03 - Dematagoda
04 - Kelaniya
05 - Wanawasala
06 - Hunupitiya
07 - Enderamulla
08 - Horape
09 - Ragama

Author - Dushantha Nanayakkara

දුම්රිය අනතුර පිළිඹදව විස්තර  - ඥානේනද්‍ර ප්‍රදීප් පතිරන
දුම්රිය අනතුර පිළිඹදව වැඩිදුර කියවුමට ලංකාදීප පුවත්පතේ ඇති විස්තරයක් වෙත මෙතැනින් පිවිසෙන්න.

*****මෙහි අන්තර්ගත සියලුම කරුනු සම්බන්ධ අයිතිය මෙය සැකසු රචකයා වන මා සතුවන අතර මෙහි අන්තර්ගත කිසිවක් රචකයාගේ නිසි අවසරයකින් තොරව කිසිදු මාධ්‍යයක් තුලට අන්තර්ගත කිරීම වරදකි. මෙහි ඇති ඇතැම් චායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලද චායාරූප වේ*****


මාලිගාවත්ත දුම්රිය ධාවනාගාරය

මාලිගාවත්ත දුම්රිය ධාවනාගාරය
මාලිගාවත්ත දුම්රිය ධාවනාගාරය 
මාලිගාවත්ත දුම්රිය ධාවනාගාරය 
මාලිගාවත්ත දුම්රිය ධාවනාගාරය

මාලිගාවත්ත දුම්රිය ධාවනාගාරය


මාලිගාවත්ත දුම්රිය ධාවනාගාරය

මාලිගාවත්ත දුම්රිය ධාවනාගාරය
මාලිගාවත්ත දුම්රිය ධාවනාගාරය
දෙටගොඩ දුම්රිය ස්ථානය
කැළණිය දුම්රිය ස්ථානය
වණවාසල දුම්රිය ස්ථානය
හුනුපිටිය දුම්රිය ස්ථානය
එඩේරමුල්ල දුම්රිය ස්ථානය
රාගම දුම්රිය ස්ථානය
චාරිකාවේ අප මේ වනවිට සිටින්නාවූ ස්ථානය

Thursday, June 25, 2015

උඩරට චාරිකාව - 03


කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ සිට ගල්අගුරු එන්ජිමක් සහිත දුම්රියක් පිටත් වීම
වේදිකාවේ සිටි සියලුදෙනාම දුම්රියට ගොඩවී හමාරය. දුම්රිය ආරක්ෂක නිලධාරීන් දෙදෙනෙක්ද දුම්රියේ ඒමේ අත ගමන් ගනිමින් ඇතැමෙක්ගේ ගමන් බලපත්ර පරීක්ෂාවේ යෙදේ.  කෙමෙන් කෙමෙන් වේලාවද උ
දෑසන 8.30 විය. අප සිටි දුම්රිය ගමන් අරඔන බවට නිවේදනයක් ලැබුනි. වරක් දෙවරක් නලාව නාදකර දුම්රිය ගමන් ආරම්භ කළේය. ඒ අපි පිටවුයේ චාරිකාවේ පලමු දුම්රිය නැවතුම වන කොලඔ කොටුව දුම්රිය ස්ථානයෙනි. 

වේදිකා 10 කින් සමන්විත වන කොලඔ කොටුව දුම්රිය ස්ථානය බ්‍රිතාන්‍ය ජාතිකයන් විසින් පලමු අධියරේදී සාදන ලද දුම්රිය ස්ථාන වලින් එකකි. වේදිකා 2කින් සමන්විත වන පරිදී කොලඔ කොටුව දුම්රිය ස්ථානය මුලින්ම සාදන ලද්දේ 1864 වර්ශයේදීය. ඉන්පසු නමක් නොතිබුනු මෙම දුම්රිය නැවතුම්පොළ  "කොටුව" යන නමින් 1877 වර්ශයේදී නම් කෙරුනි. කාලය ගතවත්ම දුම්රිය සේවය පුලුල් වීම නිසා කොටුව දුම්රිය ස්ථානයද පුලුල් කිරීමේ අවශ්‍යතාවයක් මතු විය. එවකට දුම්රිය දෙපාර්ථමේන්තුවේ කළමණාකරු වශයෙන් සේවයේ නියුතුව සිටි බ්‍රිතාන්‍ය ජාතික G.P.Green මහතා මේ සදහා පුරෝගාමී වී වැඩ අරඔන ලද්දේ වර්ශ 1906 දීය. ඔවුන්ගේ මවු රටේ Victoria දුම්රිය ස්ථානයට යම්තාක් දුරට සමාන වන ලෙස කොලඔ කොටුව දුම්රිය ස්ථානයෙ අලුත්වැවියා කොට වර්ශ 1917 දී ජනතා අයිතියට පත් කෙරුනි. වර්තමානය වනවිට අපට දැකගත හැකි වන්නේද වර්ෂ 1917 දී ජනති අයිතියට පත්වුනු දුම්රිය ස්ථානයයි. මෙසේ පුරාවෘත්තයකට හිමිකම් කියන කොලඔ කොටුව දුම්රිය ස්ථානයද කෙමෙන් කෙමෙන් අප දෑස්මානයෙන් නොපෙනී යන්නේ අප දුම්රියේ ගමන් මාර්ගයේ ඉදිරියට ඇදීමත් සමගය.

කොළඹ කොටුව දුම්රිය ස්ථානය

අප ගමන්ගන්නා දුම්රියේ මීලග දුම්රිය නැවැතුම්පොල වනුයේ රාගම දුම්රිය ස්ථානයයි. ඒ දක්වා ගමන් කිරීමේදී අප මුලින්ම පසු කරන දුම්රිය ස්ථානය වන්නේ මරදාන දුම්රිය ස්ථානයයි. මෙම දුම්රිය ස්ථානයද මුල් අධියරේදීම වර්ෂ 1864 දී බ්රිතාන්‍ය ජාතියන් විසින් නිපදවනු ලැබූවකි. එවකට මෙහි නාමය වූයේ  Colombo Terminus Station යනුවෙනි. පසුව මෙයද වර්ෂ 1906 දී නවීකරනය ආරම්භ කිරීමෙන් පසු වර්ෂ 1917 දී මරදාන දුම්රිය ස්ථානය යන නමින් ජනතා අයිතිය වෙත පැවරුණි. මෙය සාදා තිබෙන්නේද බ්‍රිතාන්‍ය ගොඩනැගිල්ලක ආකෘතියකට අනුවය. අප රටෙහි දුම්රිය සංඥා පාලනය කරන ප්‍රධාන දුම්රිය ස්ථානය වන්නේ මරදාන දුම්රිය ස්ථානයයි. ප්‍රධාන මාර්ගය , පුත්තලම් මාර්ගය , මුහුදුබඩ දුම්රිය මාර්ගය , කැලණිවැලි මාර්ගය යන මාර්ග 4ම මරදාන දුම්රිය සථානයේ පාලනයට නතුව පවතින දුමිරිය මාර්ග වේ. අප ගමන්ගන්නා ප්‍රධාන මාර්ගය සැලකුවහොත් එම මාර්ගයේ රඹුක්කන දුම්රිය ස්ථානය දක්වා ප්‍රදේශය මරදාන දුම්රිය සංඥා පද්ධතියේ පාලනයට නතුව පවතී. මරදාන දුම්රිය ස්ථානය මගින් දෛනිකව දුම්රියයන් 290 ක් පාලනය කරනු ලබන අතර දුම්රිය උප නියාමකවරුන්ගේ කාර්යාලය පිහිටා ඇත්තේද මරදාන දුම්රිය ස්ථානයේය. කොලඔ කොටුව දුම්රිය ස්ථානයේ සිට මරදාන දුම්රිය ස්ථායට ඇත්තේද 2Km ක දුර ප්‍රමාණයකි.  දැන් අප ගමන්ගන්නා උඩරටමැණිකේ දුම්රිය මරදාන දුම්රිය ස්ථානය පසුකරමින්ද ඉදිරියට ඇදෙයි.

මරදාන දුම්රිය ස්ථානය

අද දිනයට සමාප්තිය......................................

Author - Dushantha Nanayakkara


*****මෙහි අන්තර්ගත සියලුම කරුනු සම්බන්ධ අයිතිය මෙය සැකසු රචකයා වන මා සතුවන අතර මෙහි අන්තර්ගත කිසිවක් රචකයාගේ නිසි අවසරයකින් තොරව කිසිදු මාධ්‍යයක් තුලට අන්තර්ගත කිරීම වරදකි. මෙහි ඇති ඇතැම් චායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලද චායාරූප වේ*****

කොළඹ කොටුව දුම්රිය ස්ථානය

කොළඹ කොටුව දුම්රිය ස්ථානය

මරදාන දුම්රිය ස්ථානයේ අතීත දර්ශනයක්

මරදාන දුම්රිය ස්ථානය

මරදාන දුම්රිය ස්ථානය

මරදාන දුම්රිය ස්ථානයේ ඇති දුම්රිය සංඥා පාලන කුටිය

මරදාන දුම්රිය ස්ථානයේ ඇති දුම්රිය සංඥා පාලන කුටිය තුල ක්‍රියාකාරීත්වය

මරදාන දුම්රිය ස්ථානයේ ඇති දුම්රිය සංඥා පාලන කුටිය තුල ක්‍රියාකාරීත්වය


අප ගමන්ගන්නා දුම්රිය පැමිනෙන තුරු 3 වන වේදිකාවේ බලා සිටින මගීන්
අප ගමන්ගැනීමට බලාපොරොත්තු වන්නාවූ දුම්රිය කොළඹ කොටුව දුම්රිය ස්ථානයට පැමිණි මොහොත
අප චාරිකාවේ සිතියම සහ මේ වනවිට අප සිටින්නාවූ ස්ථානය

උඩරට චාරිකාව - 02


කොලඔ කොටුවේ සිට නානුඔය බලා යන චාරිකාවට පදනම් වන දුම්රිය මාර්ගයේ ඉතිහාසය සොයා බැලුවෙමු. දැන් යමට පෙර ගමන ගැන විස්තර ටිකක් සොයා බලමු. කෙලඔ කොටුවේ සිට නානුඔය හරහා බදුල්ල බලා දෛනිකව දුම්රියයන් 04ක් ධාවනයේ යෙදේ. එනම්,

පොඩිමැනිකේ     -   05.55 a.m.(කොටුව)  / 04.06p.m.(බදුල්ල)
උඩරට මැනිකේ   -  08.30a.m.(කොටුව)  / 06.22p.m.(බදුල්ල)
1007    - 09.45a.m.(කොටුව)  / 07.17p.m.(බදුල්ල)
තැපැල් දුම්රිය       -  08.00p.m.(කොටුව)  / 07.10a.m.(බදුල්ල)


වැඩිදුර තොරතුරු සදහා දුම්රිය දෙපාර්ථමේන්තුවේ නිළ වෙබ් අඩවියට මෙතැනින් වෙත පිවිසෙන්න

අපගේ චාරිකාව සදහා 207Km ක දුරක් ගෙවා යා යුතුව ඇත. එනම් එය දුම්රියෙන් පැය 6 කට ආසන්න කාලයකි. දුම්රියේ මේ සදහා තත්ව 3ක් යටතේ සකස් කරන ලද විවිධ මිළ ගනන් යටතේ වූ මැදිරි වර්ග 3කි.

ප්‍රවේශ පත්‍ර ගාස්තු

පන්තිය මිල(රු.)
1 පංතිය 740.00
2 පංතිය 450.00
3 පංතිය 285.00

අප ගමන් ගන්නාවූ දුම්රිය නවත්වන ස්ථාන - රාගම , ගම්පහ , වේයන්ගොඩ , පොල්ගහවෙල , රඔුක්කන , කඩුගන්නාව , පිළිමතලාව , පේරාදෙණිය , මහනුවර , ගම්පොළ , නාවලපිටිය , ඉගුරැඔය , ගල්බොඩ , වටවල , ඉහල වටවල , රොසැල්ල , හැටන් , තලවකැළේ , වටගොඩ , ග්රේඩ් වෙස්ටර්න් , රදැල්ල , නානුඔය , පරකුම්පුර , අඹේවෙල , පට්ටිපොළ , ඔහිය , ඉදල්ගස්හින්න , හපුතලේ , දියතලාව , බන්ඩාරවෙල , කීනිගම , හීල්ඔය , ඇල්ල , කිතල් ඇල්ල , දෙමෝදර , උඩුවර . හාලිඇල , බදුල්ල

මේ සදහා දුම්රිය දෙපාර්ථමේන්තුව සතු M5,M7 යන දුම්රිය එන්ජින් අතීතයේ යෙදෙව්වද තිරිංග සම්බන්ධව යම් යම් දෝෂ ඇතිවීම නිසා එම පංති 2ට අයත් එන්ජින් මේ වනවිට කදුකර මාර්ගයේ ධාවනයෙන් ඉවත්කර ඇත. ඊටත් පෙර ගල් අගුරු එන්ජින් උඩරට බලා ගමන් කර ඇත. කෙසේවෙතත් මේ වනවිට M2,M6 එන්ජින් සහ S12 බලවේග දුමිරියයන් උඩරට බලා ධාවනයේ යෙදේ. අප චාරිකාව සදහා අප තෝරාගනු ලැබුවේ කොලඔ කොටුවෙන් උදෑසන 8.30 ට ගමන් අරඔන උඩරටමැනිකේ දුම්රියයි. ඒ සදහා S12 බලවේග කට්ටලයක් ධාවනයේ යෙදේ.

M2 ගනයට අයත් දුම්රිය එන්ජිමක්

M5 ගනයට අයත් දුම්රිය එන්ජිමක්

M6 ගනයට අයත් දුම්රිය එන්ජිමක්

M7 ගනයට අයත් දුම්රිය එන්ජිමක්
ගල්අගුරු  දුම්රිය එන්ජිමක්

S12 බලවේග කට්ටලයක්

දැන් වෙලාව උදෑසන 8.15 පමන වී ඇත. කොලඔ කොටුව දුම්රිය ස්ථානය මගීන්ගෙන් පිරී ඇති වෙලාවකි. දෛනිකව රැකි රක්ෂා කිරීමට යන පිරිසගෙන් දුම්රිය ස්ථානය තරමක් කාර්ය බහුලය. කාර්යාල දුම්රියක් පැමිනි විගස එය තුලින් ක්ෂනිකව බැසගන්නා පිරිස කූඹි ගුලක් ඇවිස්සුනාක් මෙන් පදිකවේදිකාව අතුරු සිදුරු නොමැතිවම පිරීයයි. වටපිටාව දෙස විපරම් කරමින් සිටින අපට නිවේදනයක් අසන්නට ලැබිනි. ඒ අප ගමන්ගැනීමට නියමිත දුම්රිය 3 වන වේදිකාවට පැමිනෙන බවය. එම නිවේදනය සැලවූ වහාම වට පිට සීසීකඩ සිටි මගීන් තම ගමන් මලුද රැගෙන 3 වන වේදිකාවට රොක්විය.
ගතවූයේ මද වෙලාවකි. නිල් පැහැයෙන් වර්ණ ගැන්වී ඇති දුම්රියක් 3 වන වේදිකාව වෙත පැමිනුනි. දුම්රිය නැවැතිවීමටත් පෙර ඇතැන් මගීන් එයට ගොඩවීමට වෑයම් කරයි. දුම්රිය නවත්වන මොහොත වන විටත් අප සමග වේදිකාවේ සිටි මගීන්ගෙන් පිරිසක් දුම්රියට ගොඩවී හමාරය. දුම්රිය නැවැත්වූ වහාම අපද ලහි ලහියේ දුම්රියට ගොවැදී ආසනයක් වෙත පියමන් කලෙමු.......

අද දිනයට සමාප්තිය......................................

Author - Dushantha Nanayakkara

*****මෙහි අන්තර්ගත සියලුම කරුනු සම්බන්ධ අයිතිය මෙය සැකසු රචකයා වන මා සතුවන අතර මෙහි
අන්තර්ගත කිසිවක් රචකයාගේ නිසි අවසරයකින් තොරව කිසිදු මාධ්‍යයක් තුලට අන්තර්ගත කිරීම වරදකි. ඡායාරූප අන්තර්ජාලයෙන් උපුටාගන්නා ලද ඡායාරූප වන අතර ඒවා වල අයිතිය එම ඡායාරූප ශිල්පීන් සතුවේ.*****