Wednesday, July 22, 2015

උඩරට චාරිකාව - 20



නැවතත් අපි බදුල්ල බලා ගමන් ආරම්භ කලේ ලංකාවේ උසම දුම්රිය ස්ථානයේ සිටයි. මීලගට අපහට හමුවන්නෙත් එවන් ම සුවිශේෂී ස්ථානයක්. ඒ ලංකාවේ  දුම්රිය මාර්ගයේ උසම ස්ථානය. SUMMIT LEVEL ලෙස හදුන්වන මෙම ස්ථානය කොලබ සිට  224 km දුරින් පිහිටා තිබෙනවා , මුහුදු මට්ටමේ සිට අඩි 6226ක් එනම් මීටර් 1898.1 ක උසක් මෙම ස්ථානයට ලැබී තිබෙනවා . ලංකා දුම්රිය මාර්ග පද්ධතියෙ වගේම Broad Gauge (5′ 6″) දුම්රියක් ගමන් කරන ලෝකෙන්ම උසම තැනද මෙය වේ. මෙම ස්,ානයේ ඒ බව සදහන් කර පුවරුවක්ද සවිකර තිබෙනවා දැකගත හැකිය. මෙම ස්ථානය පසු කිරීමත් සමග අපි ඇතුළු වන්නේ ලංකාවේ දෙවන දිගම දුම්රිය උමග තුලටයි. නො.18 ලෙසින් නම් කර ඇති මෙම බිම්ගෙය භූගෝලීය වශයෙන් ඉතා විශාල වැදගත්කමක් උසුලන ස්ථානයක්. ඒ මධ්‍යම  පළාත හා ඌව පළාත වෙන් වන්නේ මෙම උමග තුලින් වීම නිසා . එසේම මධ්‍යම  පළාතේ වැහිබර කාලගුණය තුලින් උමගට පිවිසෙන දුම්රිය උමගින් පිටවන්නේ ඌව පළාතේ වියලි දේශගුණයට මුහුණ දෙමින් වීමත් උඩරට චාරිකාව මුහුණ දෙන තවත් සුවිශේෂී කාරණයක්. 

මෙම දුම්රිය උමග නිර්මාණය කිරීමේදී  කිහිප වරක්ම කඩාවැටී තිබෙනවා. මෙයින් අපහසුතාවයට පත් වුණු  ප්‍රධාන ඉංජිනේරුවරයා  මෙම ස්ථානයට ඉහලින් පිහිටා ඇති කුඩා දෙවොලකට පුජාවක් තැබීමෙන් අනතුරුව මෙහි කටයුතු සාර්ථක වී තියෙනවා. ඒ දේවාලය අදටත් දකින්නට පුළුවන්. 

මීලගට අපිට හමුවන දුම්රිය ස්ථානය  “ඔහිය දුම්රිය ස්ථානයයි.  ” SUMMIT LEVEL සිට බදුල්ල දක්වා දැන් ඇත්තේ බැස්මක්.  එනම් දැන් අපගේ දුම්රිය දුර්ග මාර්ගය දැන් අවසන්.  ඔහිය දුම්රිය ස්ථානය හෝර්ටන් තැන්නට සහ ලෝකාන්තයට පිවිසුම් දොරටුවක් ද වෙනවා,  ඔහිය සිට අපගේ මීලග නවාතැන වන ඉදල්ගස්හින්න දක්වා දුම්රිය මාර්ගය ද සුවිශේෂී ඉසව්වක්. ඒ ලංකාවේ වැඩිම දුම්රිය බිම්ගෙවල් ගණනාවක් ඇත්තේ මෙම දුම්රිය ස්ථානයන් දෙක අතර වීමයි.   දුම්රිය බිම්ගෙවල් 13 ක් මෙම දුම්රිය ස්ථානයන් දෙක අතර පිහිටා තිබෙනවා, දුම්රිය පසුපස මැදිරි එක බිම්ගෙයක් තුලත් එන්ජිම තවත් බිම්ගෙයක් තුලටත් ඇතුළුවන සුන්දර දසුන අපට මෙහිදී දකින්නට ලැබෙනවාෙ.

දැන් අපි පැමිණ තිබෙන්නේ ඉදල්ගස්හින්න දුම්රිය ස්ථානයටයි. මේ දුම්රිය ස්ථානයත් විශේෂ දුම්රිය ස්ථානයක්.  මෙය හදුන්වන්නේ ලංකාවේ හොදම හුලන් කපොල්ල ලෙසයි. කටුසු කොන්දක් වැනි භූ විෂමතාවයක පිහිට තිබෙන මෙම දුම්රිය ස්ථානය මුහුදු මට්ටමේ සිට මීටර් 1665 ක් උසයි. මෙහි සිට නිරීක්ෂණය කරන අපට දකුණු පසින් ශ්‍රී ලංකාවේ දකුණු දිග තැනිතලාව ඉතා හොදින් දකින්නට ලැබෙනවා, ඒ අතර ඇඹිලිපිටිය ප්‍රදේශයේ  “සමනල වැව , චන්ද්රිවකා වැව ” පැහැදිලිව දර්ශනය වෙනවා. දුම්රිය ස්ථානයේ අය පැවසු පරිදි පැහැදිලි කාලගුණයක් ඇති රාත්‍රියක  දෙවුන්දර ප්‍රදීපාගාරයේ  පහන් එලිය පවා මෙහාට දර්ශනය වෙනවා.  එසේම මෙහි වර්ෂා දිනවලදී වහලයේ එක පසකින් වැටෙන වතුර මහවැලි ගගටත් අනෙක් පසින් වැටෙන වතුර කළු ගගටත් වන බව  පැවසෙනවා. මේ සියලු තොරතුරුත් සමග අපේ ගමන අදට අපි නිමා කරනවා. (ඔහිය -1774.39 m  / ඉදල්ගස්හින්න -1665.85 m  )


මේ වනවිට අප පසුකල දුම්රිය ස්ථාන :-
78 - Pattipola
79 - Ohiya
80 - Idalgashinna

Author - Dushantha Nanayakkara

Help - Thilanga Udara
           Sameera Wijethunghe


*****මෙහි අන්තර්ගත සියලුම කරුනු සම්බන්ධ අයිතිය මෙය සැකසු රචකයා වන මා සතුවන අතර මෙහි අන්තර්ගත කිසිවක් රචකයාගේ නිසි අවසරයකින් තොරව කිසිදු මාධ්‍යයක් තුලට අන්තර්ගත කිරීම වරදකි. මෙහි ඇති ඇතැම් චායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලද චායාරූප වේ*****


















No comments:

Post a Comment