Thursday, July 9, 2015

උඩරට චාරිකාව - 11



දැන් අප සිටින්නේ බලන හා කඩුගන්නාව දුම්රිය ස්ථානයන් දෙක අතරය. යුරෝපීයයන් කදුවැටි කපා හෙලමින් මහනුවර බලා සිදුකර දුම්රිය මග ඇතිරීමේ කටයුත්තේදී ඔවුන්ගේ මග අව්රාවූ පර්වතය කඩා සකස් කිරීමේදී මාර්ගයට ඉහලින් වූ පර්වතයේ කොටසක් පියස්සක් මෙන් ඉතිරි කර ඇත. එය ඈතින් සිට බලනවිට සිංහයෙකුගේ මුව අයාගෙන සිටින විලාසයකින් දිස්වේ. සිංහ මුඛය හෙවත් Lion's Mouth යනුවෙන් හදුන්වන්නේත් මෙම ස්ථානයයි.  බලන සහ කඩුගන්නාව අතර දුම්රිය මාර්ගයේ අංක 10 සහ අංක 11 යන බිංගෙවල් අතර මේ සිංහ කට නම් වූ ස්ථානය පවතිනවා. ප්‍රපාතාකාර පර්වතයක මුහුනත කපා ඒ මත ඇතිරූ දුම්රිය මගක සිට ප්රපාතයෙන් පහල බලන විට දක්නට ලැබෙන සොදුරු රූ සටහන් දැන් අප නෙත් සමීපයටම පිවිස ඇත. උඩරට දුම්රිය චාරිකාවේදී උඩරටට පිවිසීමෙන් පසු අප පසුකල ඇතැම් දුම්රිය ස්ථාන වලදී අප ඈතින් දුටු ඇතැම් කදු පංතීන් දැන් අප සමීපයටම පැමිණ ඇතිවාක්මෙන් නුදුරේම දක්නට ලැබෙනවා. මීට පෙර අපි පසුකල බතලේගල පර්වතය නීලවර්න සලුපිළි පොරවාගෙන තවමත් ඉද හිට දිස් වෙනවා. කඩුගන්නාව දුර්ගයේ ජීවත් වන ගැමියන්ට ගමකින් ගමකට යෑමට පහසුකම් සපයන්නේත් මෙම දුම්රිය මග බව අපට ඒ දෙස මද වේලාවක් බලා සිටීමේදී තේරුම්ගත හැකිවිය.



කඩුගන්නාව දුර්ගයට පහලින් පිහිටා ඇති කඩුගන්නාව දෙසට දිවෙන්නවූ මහාමාර්ගය මෙම ස්ථානයට හොදින් දක්නට ලැබෙනවා. තුරුවදුලු අතරින් වක ගැසෙමින් දිවෙන මහා මාර්ගය සුන්දර ගම් පියස මැදින් නිල්වන් කෙත්වතු අතරින් දුම්රිය මගට සමාන්තරව පහලින් ඇදී යනවා. මේ සියල්ල අතරින් කදුකර සිරියාව මවනා නිල්වන් කදු පංතීන් තුරුවදුලු අතරින් දිස්වෙමින් මේ පරිසරයට ආවේනික රූ සටහන් පෙළ නැවත නැවතත් අපගේ නෙත් මානයට පැමිනෙනවා. කටුගන්නාව පරිසර පද්ධතියේ ඉතා විශාල ජෛව විවිධත්වයකින් සමන්විත වන බව අපට හැගී යන්නේ අප ගමන්ගන්නා මාර්ගය දෙපස ඇති මල් වර්ග පක්ෂීන් වර්ග මෙන්ම විවිධ තුරුලතාද දැකීම නිසාය. ප්රපාතාකාර ගල් පර්වතයක් කපා දුම්රිය මග නිර්මාණය කල මෙම පර්වතය තුල විවිධ හැඩතල රැසක් දැකගැනීමට හැකි වෙනවා. කඩුගන්නාව දුර්ගයේ මෙවැනි ස්ථාන කිහිපයක්ම සංචාරකයන්ගේ නෙත් සිත් ඇදගැනීමට සමත්ව තිබෙන බව නොරහසකි. සිංහ මුඛය මෙන්ම සිංහයෙකු පාදය තබාසිටින අයුරින් දිස්වෙන සිංහ පාදයද මේ අතර ඉදිරියෙන් සිටිනවා.

මෙවන් වූ අතිශය සුන්දර කදුකර පරිසරයක් පසු කරමින් කෙමෙන් කෙමෙන් අප චාරිකාවේ මීලග දුම්රිය ස්ථානය වන කඩුගන්නාව දුම්රිය ස්ථානයටද සේන්දු වුනි. කඩුගන්නාව යනු අප කොළඹ කොටුවේ සිට පැමිණීමේදී අපට හමුවන 45 වන දුම්රිය ස්ථානය වෙයි. මෙම දුම්රිය ස්ථානය කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ සිට 106 Km දුරින් හා මුහුදු මට්ටමේ සිට අඩි 1690ක් උසින් පිහිටා තිබෙනවා. 1867 වර්ශයේ මාර්තු මස 20 වන දින මෙය ඉදිකර තිබෙන බව මේ අසල ඇති පුවරුවකින් අපට කියාපානවා.

අද දිනයට සමාප්තිය......................................

මේ වනවිට අප පසුකල දුම්රිය ස්ථාන :-
45 - Kadugannawa

Author - Dushantha Nanayakkara

*****මෙහි අන්තර්ගත සියලුම කරුනු සම්බන්ධ අයිතිය මෙය සැකසු රචකයා වන මා සතුවන අතර මෙහි අන්තර්ගත කිසිවක් රචකයාගේ නිසි අවසරයකින් තොරව කිසිදු මාධ්‍යයක් තුලට අන්තර්ගත කිරීම වරදකි. මෙහි ඇති ඇතැම් චායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලද චායාරූප වේ*****
















කඩුගන්නාව දුම්රිය ස්ථානය
කඩුගන්නාව දුම්රිය ස්ථානය 

කඩුගන්නාව ඩෝසන් කුලුන




No comments:

Post a Comment