Wednesday, July 15, 2015

උඩරට චාරිකාව - 14



අප දැන් පැමින සිටින්නේ අපගේ ගමන්මගේ අපට හමුවූ තරමක් සුවිශේෂී දුම්රිය ස්ථානයකටය. එනම් නාවලපිටිය දුම්රිය ස්ථානයටය. දුම්රිය ස්ථානයේ විශේෂත්වය සහ ඒ අවට ඇති ස්ථාන වල විශේෂත්වය පිළිඹදව සැලකීමේදී අපට මුලින්ම හමුවූයේ නාවලපිටිය දුම්රිය ස්ථානය ආසන්නයේ ඇති අතීතයේ සක්‍රීය මට්ටමක තිබුනත් මේ වනවිට මුලුමනින්ම පාහේ අක්‍රීය තත්වයක පවතින නාවලපිටිය දුම්රිය ධාවනාගාරයයි.

ඉංග්‍රීසි පාලකයන් විසින් නාවලපිටිය දුම්රිය ධාවනාගාරය Running Shed 1876 දී ස්‌ථාපනය කරන ලදී. එවකට බිහිව තිබුණ නාවලපිටිය දුම්රිය ස්‌ථානය දුම්රිය පාලක මැදිරි Countron Office දුම්රිය ගබඩා සංකීර්ණය Good Shed නිසා නාවලපිටිය ජනාවාසයක්‌ බවට පත්විය.

වර්තමාන දුම්රිය පාලකයන්ගේ නොසැලකිල්ල නිසාම දුම්රිය ධාවනාගාරය ද ඒ හා බැඳුණු දුම්රිය ජනාවාසයද සහමුලින්ම විනාශ වී ඇත. වල්බිහිව නටබුන් බවට පත්ව ඇත. මෙම ධාවනාගාරයේ සේවය කළ 700 ක්‌ පමණ වූ සේවකයන් අතුරින් යකඩ යකාට අඟුරු ගැසූ වතුර සැපයූ බොහෝ සේවකයන්ද අද ජීවතුන් අතර නැත. එහෙත් එවන් චරිත අතුරින් අතළොස්‌සක්‌ තවම ජීවිතයේ සැඳෑ සමය ගත කරයි.

එවන් චරිතයක්‌ වූ ඒ. කේ. එස්‌. පෙරේරා මහතා සිය නිවසට පෙනෙන නටබුන් බවට පත්ව ඇති තමන් සේවය කළ දුම්රිය ධාවනාගාරය පිහිටි ස්‌ථානය දෙස බලමින් සිටියේය. හේ සුසුම් හෙළමින් හදපිරි වේදනාවෙන් යුතුව සිය අතීතය ආවර්ජනය කළේ මෙසේය.

1947 මහා ගංවතුරට පසුව තමයි රේල්ලුව බලාගෙන ඉන්න කොට දියුණු වුණේ. මම මුලින්ම රනින්ෂෙඩ් එකේ වැඩට ගියේ 1948 දී. පංගුවට වැඩ කළා. ඒ කාලයේ හිටියේ ඔක්‌කොම සුදු මහත්තුරුයි. (බ්‍රිතාන්‍ය ජාතිකයන්) දෙමළ මහත්වරුයි. ට්‍රාන්ස්‌ මහත්තයා (ප්‍රාදේශීය දුම්රිය අධිකාරි) සර් විලියම් කියලා උස මහත සුද්දෙක්‌. හරිම නීති කාරයා. කොට කාකි කලිසමට අත්කොට සුදු කමිසය යටකරලා. ඇඳලා දණිහ ළඟට මේස්‌ දෙක දමලා යකඩ සපත්තු දමලා සුදුපාට තොප්පියක්‌ දමා ගෙන වැඩ බලන්න එනවා. යකඩ සපත්තු ශබ්දයට අපි ගල් ගැහිලා වැඩ කරනවා. රනින් ෂෙඩ් එකේ ප්‍රධාන ෆෝමන් මහත්වරු දෙන්නෙක්‌ හිටියා. දෙන්නාම සුදු මහත්වරු. ඊට පහළ ශ්‍රේණියේ ධාවනාගාර ෆෝමන් (එල්. එෆ්. මහත්වරු) මහත්වරු හත් දෙනෙක්‌ හිටියා. ඒ සියලු දෙනාම දෙමළ අය. මේ අය යටතේ ෆsටර්ලා, මැකැනික්‌ලා, ෆයර්මන්ලා, කම්කරුවන් ඔක්‌කොම 700 ක්‌ විතර වැඩ කළා.

අපි වැඩ කළේ රනින් ෂෙඩ් එකේ. සන්ගුව පිඹිනවා. ඒ වෙලාව අනුව. උදේ 7.00 ට වැඩ පටන් ගත්තා. උදේ 8.00 ට කාර්යාල වැඩ පටන් ගත්තා. සවස 4.00 ට වැඩ අවසන් කළා. විශේෂයෙන් රාත්‍රී 12.00 ට සන්ගුව පිඹිනවා. රෑ වැඩ මුරය මාරු කරන්න. ඒ කාලයේ සුදු පාලකයින් හිටපු බ්‍රවුන්ස්‌ සමාගම, ලංකා ගමනාගමන මණ්‌ඩලය වැනි ආයතන වලත් සන්ගුව පිඹිනවා. ඒ හඬ මුළු නාවලපිටියේම රැව් දෙනවා. කොටින්ම ගෙවල්වල උදවිය ඒ වෙලාවට වැඩ කරන්න පුරුදුව සිටියා. මොකද ඔරලෝසුවට වඩා ඒ වෙලාවල් නිවැරදියි.

රනින්ෂෙඩ් එකට ඉහළින් දුම්රිය ගොඩනැඟිsලි අංශයට ඉහළින් සහ දුම්රිය ස්‌ථානය ආසන්නයෙන් සුදු මහත්තුරු සඳහා අංග සම්පූර්ණ සුවිසල් දුම්රිය බංගලා 850 ක්‌ විතර සාදා තිබුණා. විශේෂයෙන් රනින්ෂෙඩ් එකට ඉහළින් පැත්තෙන් දුම්රිය බංගලා 450 ක්‌ පමණ තිබුණා. ඒ සෑම බංගලාවකම සුදු මහත්තුරු සිටියා. ඒකයි පුංචි එංගලන්තය කියන්නේ. රේල් පාර දෙපස කුඩා ලැටිස්‌ ගහපු ගෙවල් හදලා ඒවා දුම්රිය සුළු සේවකයන්ට ලබාදී තිබුණා. විශේෂයෙන් රේල් පාරෙ වැඩ කරන කම්කරුවන්ට සහ ධාවනාගාරය කම්කරුවන්ට මේ වායේ තිබුණ පිත්තල දොර අගුල්. ජනෙල් සරනේරුත් පිත්තල බඩු, සිංහල අලුත් අවුරුද්දට සහ නත්තලට ගොඩනැඟිලි අංශයේ කම්කරුවන් ලවා පිත්තල පොලිෂ් කරලා නිවාසවල තීන්ත ආලේප කරවලා සුද්ද පවිත්‍ර කරනවා. සුදු මහත්තුරු අපට නත්තලට තෑගිත් දුන්නා. අද මේවා සියල්ලම සහමුලින්ම විනාශ වෙලා. කොටින්ම රනින් ෂෙඩ් එක තිබුණු තැන දැන් පෙනෙන්න තියෙන්නේ අලි හොඬය ගහපු වතුර ටැංකියයි. ධාවනාගාරයේ වහළ රාමු සහ ගරා වැටුණු බිත්ති පමණයි.

ගැරට්‌ එන්ජිමක්‌ ෂෙඩ් එකට ආපුවාම ඒකේ ඉන්නවා හෙඩ්ෆයමන්, අන්ඩෆයමන් කියලා දෙන්නෙක්‌. සුදු මහත්තයා එයාට බලාගන්න කියලා එන්ජිම නතර කරලා යනවා. ඛග F මහත්වරු ඇවිත් එන්ජිම බලලා අපට අඟුරු ගහන්න නියම කරනවා. එක එන්ජිමකට ටොන් 11 ක්‌, සවල් වලින් අඟුරු පුරවන්න ඕනෑ. ඒ සඳහා කණ්‌ඩායම් හතරකට බෙදලා තිබුණා. එක කණ්‌ඩායමකට 16 දෙනෙක්‌ ඉන්නවා. අඟුරු ගහලා ඉවර වුණාම වතුර ටැංකියට සම්බන්ධ කරලා අලි හොඬය වගේ බටයක්‌ හදලා තියෙනවා. ඒකෙන් එන්ජිමට අවශ්‍ය වතුර පුරවන්න ඕනෑ. ඒකාලයේ පඩිය රු. 58 යි. බටා එක (සංයුක්‌ත දීමනාව) ශත 50 යි. මම 1948 සිට 1950 දක්‌වාම පංගුවට වැඩ කළා. 1950 දී මට රේල්ලුවේ ස්‌ථිර කම්කරු රැකියාව ලැබුණා. 1950 දී තමයි මම කසාද බැන්දේ. මට දරුවෝ දහ දෙනයි. දුවලා 06 දෙනයි. පුතාලා 04 දෙනයි. ඒ කාලයේ පවුල් වල දරුවෝ හත් අට දෙනෙක්‌ ඉන්න ඕනෑ. මොකද විවාහක කාන්තාවගේ ස්‌වාමියා තරුණ අවධියේ මිය ගිය හොත් ඒ පවුලේ ආරක්‍ෂාව රැකවරණය අනිත් සහෝදර සහෝදරියෝ ලබා දෙනවා. ඒක විවාහයකට සුදුසු කමක්‌. ඒකයි ඒ කාලයේa පවුල්වල විශාල දරුවන් සංඛ්‍යාවක්‌ ඉන්නේ.

ඒ කාලයේ රේල්ලුවේ සේවකයන්ගෙන් වැඩියෙන්ම දුක්‌ වින්දේ රේල් පාරෙ කම්කරුවෝ. ධාවනාගාර කම්කරුවෝ හා ෆයමන්ලා. මොකද නාවලපිටියේ සිට බදුල්ල බලා ධාවනය වන දුම්රියක්‌ සෙලම්බ්‍රි- පාලම පසු කළාට පසුව හෙඩ්ෆයර්මන් අන්ඩර් ෆයර්මන් එකතුවෙලා මාරුවෙන් මරුවට අඟුරු බොයිලේරුවට ගහන්න ඕනෑ. ඒකේ උෂ්ණත්වය සෙන්ටිගේ්‍රඩ් අංශක 150 ට තියා ගන්න ඕනෑ. නිමෙන්න දෙන්න බැහැ. නානුඔය, ඉදල්ගස්‌හින්න, අඹේවෙල, පට්‌ටිපොල හරියෙන් රාත්‍රියට දුම්රිය ගමන් කරන විට අධික සීතල තිබෙනවා. දෙපැත්තේ ආවරණ නැති නිසා දැඩි සීතල කෙළින්ම ඇඟට වදිනවා. මීදුමට පාර පෙනෙන්නේ නැතිව යනවා. එවිට උප නියාමක මහත්තයා දුම්රියෙන් බැහැලා එන්ජිමට ඉදිරියෙන් ලයිට්‌ එක අල්ලාගෙන ඊළඟ දුම්රිය ස්‌ථානය දක්‌වා යන්න ඕනෑ. මගේ ජීවිතයේ අමතක නොවන සිදුවීමක්‌ තියනවා, දවසක්‌ මම ෆයර්මන් විදියට වැඩ කරන විට බදුල්ල ඉඳලා එන රාත්‍රි බඩු දුම්රියක්‌ අරන් ආවා. නානුඔය හරියට එන විට අඟුරු ලිපි නිවුණා. වහිනවා. මීදුමත් තියෙනවා. දැන් එන්ජිමේ තිරිංග (බ්රේක්‌) අහන්නේ නැහැ. රියෑදුරු මහත්තයා හෑන්ඩ් බ්‍රේක්‌ අල්ල අල්ලා ආවා. මම කොහොම හරි අඟුරු ගහලා කොටගලදී එන්ජිමේ අවශ්‍ය උෂ්ණත්වය හදා ගත්තා. සමහර විට එන්ජිම පෙරළෙන්න ඉඩ තිබුණා. මගේ ජීවිතයයි රස්‌සාවයි බේරුණ ඒ අවස්‌ථාවත් මට තවදුරටත් අමතක වන්නේ නැහැ.

මම දැන් නාවලපිටිය මල්ලන්ද ගමේ ජීවත් වෙනවා. මම රේල්ලුවේ පංගුවට වැඩට ගිහිං ස්‌ථිර කම්කරු පත්වීමක්‌ ද ලබාගෙන පසුව අඛණ්‌ඩ ෆයර්මන් වෙලා ඊට පසුව හෙඩ් ෆයර්මන් වෙලා දුම්රිය රියෑදුරු සේවයට උසස්‌වීම් ලැබුවා. ඩීසල් එන්ජින් ආපුවාම අපට අවුරුදු 5 ක පුහුණවක්‌ ලබාදීලා ඩීසල් එන්ජින් රියෑදුරු තනතුරු ලැබුණා.

අද රේල්ලුව යන්නෙ හොඳ අතකට නෙමෙයි. නාවලපිටියෙදිම අපට පෙනෙන්න දකින්න තියෙන ඒවා ගැන දුකයි. ඔහු පවසන්නේ නටබුන් වූ දුම්රිය අංගනය දෙස බලමිනි. කොල්ලකන ලද පුරාණ දුම්රිය බංගලාවල නටබුන් බිත්ති දෙස බලමිනි. ඒ බිත්ති වසා නැඟි ඇති කැලෑව සමෘද්ධිමත් ඉතිහාසයක්‌ ගිල ගනු වැනිය.

අද දිනයට සමාප්තිය......................................

Author - Dushantha Nanayakkara
Photos & Details - Nimesh Thennakoon

*****මෙහි අන්තර්ගත සියලුම කරුනු සම්බන්ධ අයිතිය මෙය සැකසු රචකයා වන මා සතුවන අතර මෙහි අන්තර්ගත කිසිවක් රචකයාගේ නිසි අවසරයකින් තොරව කිසිදු මාධ්‍යයක් තුලට අන්තර්ගත කිරීම වරදකි. මෙහි ඇති ඇතැම් චායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලද චායාරූප වේ*****
















 



No comments:

Post a Comment