Monday, July 20, 2015

උඩරට චාරිකාව - 16


අපි දැන් තලවාකැලේ දුම්රිය ස්ථානයෙන්ද ගමන් ඇරඹුවෙමු. තලවකැලේ සිට ඉදිරියට දිවෙන මෙම දුම්රිය මාර්ගය අතිශය දැකුම්කලු ඉසව් මායිම් කරගෙන වැටී තිබෙනවා. ශාන්ත ක්ලෙයාර් වතුයාය හරහා වූ දුර්ගය ඔස්සේ කොත්මලේ ඔය ගලාබසින අයුරු දුම්රිය මාර්ගයට පහලින් මනාව නැරඹිය හැකිය. අවිස්වේල්ලෙන් ආරම්භ වී හැටන් හරහා නුවර එලිය වෙත දිවෙන A7 මාර්ගය වරෙක දුම්රිය මගට සමාන්තර ගමනක යෙදනවා. කොත්මලේ සහ ඉහලකොත්මලේ නිම්නයන් හරිත පැහැයෙන් බබලමින් අපගේ වම්පසින් දිස් වෙමින් ඈතින් ඈතට පැතිර යනවා. මෙරට ජලවිදුලි ක්ෂේත්රයට අයත් ඉහල කොත්මලේ ජලවිදුලි බලාගාරය දුම්රිය මගීන්ගේ දර්ශණ පථය මත වරින් වර පෙනී සිටිනවා.  මුහුදු මට්ටමේ සිට අඩි 3935ක් උසින් වූ තලවාකැලේ දුම්රිය ස්ථානයේ සිට  ඉදිරියට සීග්ර   නැග්මක් ඔස්සේ ගමන් කලයුතු වෙනවා. නානුඔය දුම්රිය ස්ථානය මුහුදු මට්ටමේ සිට අඩි 5291ක උසකින් පිහිටා තිබෙනවා.මේ දුම්රිය ස්ථාන 2 අතර ක්රමයෙන් ඉහලට එසවෙන උසෙහි පරස්පරය අඩි 1356කි. එනම් අප දැන් ගමන් කරන්නේ ආනති ආකාර සීග්ර  නැග්මක් ඔස්සේයි. මේ ගමන්මාර්ගයේදී අප පසුකල රඹුක්කන සිට කඩුගන්නාව දක්වාත් , නාවලපිටියේ සිට හැටන් දක්වාත් වූ සීග්‍ර නැග්මට මෙය බෙහෙවින් සමාන වෙනවා. අඩි 44 ට 1 ක් වශයෙන් මේ නැග්ම පරිමාණ ගතකර තිබෙනවා. තවදුරටත් නැගෙනහිර දිශාවට යොමුවු දුම්රිය මාර්ගය ඉදිරියට වැටී ඇත්තේ S අකුරේ හැඩය ගන්නා තියුනු වංගු ඔස්සේයි. තලවකැලේ සිට අපට හමුවන පළමු දුම්රිය ස්ථානය වන වටගොඩ දක්වා වූ ප්‍රදේශයේ දකුණු පසින් සමනළ කදුපංතිය පිහිටා තිබෙනවා. උඩරට දුම්රිය මාර්ගයේ හමුවන මීලග දුම්රිය ස්ථානය ලෙස සැලකෙන වටගොඩ දුම්රිය ස්ථානයට අප ක්‍රමයෙන් ලගා වුනා.

මුහුදු මට්ටමේ සිට අඩි 4400 ක උසකින් පිහිටි වටගොව දුම්රිය ස්ථානය කොළඹ කොටුවේ සිට 192Km ක දුරින් පිහිටා තිබෙනවා. වටගොඩින් ආරම්භ වී ග්‍රේඩ් වෙස්ටර්න් වෙත යන මේ ගමනේදී තවදුරටත් මග විහිදී ඇත්තේ නැගෙණහිර දිශාවටයි. උස් කදු මුදුන් මත පිහිටි තේවතු එකින් එක යාකරමින් වතු කම්කරුවන්ගේ පහසුව උදෙසා දුම්රිය මග හරහා ඉදිවුනු හරස් පාලම්ද මේ ගමනේදී තැනින් තැන හමු වෙනවා. හරිතපැහැ මිටියාවතට ඉහලින් නිල්වන් පවුරක් මෙන් අප යන්නාවූ මග අවුරන්නාක් බදුව පිහිටන්නාසේ එක වරම කදු පංතියක් අප ඉදිරියේම දිස් වෙනවා. මේ වෙන කවරක්වත් නොව දැවැන්ත ග්‍රේඩ් වෙස්ටර්න් කදු පංතියයි. මේ කදු වැටියෙන් නුවරඑළිය සීමාව ආරම්භ වෙනවා. ඉන් ඔබ්බෙහි පිහිටා ඇත්තේ රම්බොඩ ප්රදේශයයි. කදුකර තෙත් කලාපයේ පිහිටියත් ග්‍රේඩ් වෙස්ටර්න් කදු පංතියේ ජලවහන රටාව තරමක් වෙනස් මුහුනුවරක් ගන්නවා. එනම් කදුපංතියේ අපට පෙනෙන ඉසව්වේ දිය කදුරු පිහිටා ඇත්තේ ඉතා අල්ප වශයෙනි. එහි ජලවහන රටාව මුලුමනින්ම පාහේ යොමුවී ඇත්තේ නැගෙනහිර දෙසට වන්නටයි. මහවැලි ජල පෝෂක ප්රදේශයේ පිහිටි මේ ග්‍රේඩ් වෙස්ටර්න් කදු පංතිය ජෛව විවිධත්වයෙන් ඉහල අගයක් ගන්නවා.

ග්‍රේඩ් වෙස්ටර්න් දුම්රිය ස්ථානය ග්‍රේඩ් වෙස්ටර්න් කන්ද මුදුනේ සිට පෙනෙන අයුරු
මේ ගමනේදී ඊලගට අපට හමුවන්නේ ග්‍රේඩ් වෙස්ටර්න් දුම්රිය ස්ථානයයි. 2008 වසරට පෙර කාල වකවානුවක උඩරට මාර්ගයේ එක්තරා දුම්රිය ස්ථානයක් රාත්‍රී කාලයේ වසා දැමුණ අතර එවිට දෙපසේ දුම්රිය ස්ථාන දෙක අතර සෘජුවම දුම්රිය ධාවනය සිදුවේ..එවිට එම වසා දැමෙන දුම්රිය ස්ථානයේ සහ දෙපස දුම්රිය ස්ථාන වල ටැබ්ලට් උපකරණය සහ ඒ හා සම්බන්ධ විශේෂ උපකරණය අනුපිලිවෙකට සැකසී වසාදැමෙන දුම්රිය ස්ථානයේ ටැබ්ලට් උපකරණය අක්‍රීය කෙරේ. ඉන්පසු කිං ලීවරය ඇදීමෙන් ඉහල හා පහල දෙදිසාවටම ධාවනය වන දුම්රියන් සදහා අවසර ලැබේ. මේ ආකාරයෙන් ලංකාවේ දුම්රිය ධාවනය කල එකම දුම්රිය ස්ථානය වන්නේද මෙම ග්‍රේඩ් වෙස්ටර්න් දුම්රිය ස්ථානයයි. ඇසට අසුවන මිටියාවතටත් ග්‍රේඩ් වෙස්ටර්න් කදුයායටත් මැදිව බෙහෙවින් සුන්දර ස්ථානයක මෙම ග්රේටඩ් වෙස්ටර්න් දුම්රිය ස්ථානය පිහිටා තිබෙනවා. මුහුදු මට්ටමේ සිට අඩි 4774ක් උසින් පිහිටි මෙම දුම්රිය ස්ථානය කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ සිට 197Km දුරින් පිහිටනවා.

අද දිනයට සමාප්තිය......................................

මේ වනවිට අප පසුකල දුම්රිය ස්ථාන :-
73 - Great Western

Author - Dushantha Nanayakkara


*****මෙහි අන්තර්ගත සියලුම කරුනු සම්බන්ධ අයිතිය මෙය සැකසු රචකයා වන මා සතුවන අතර මෙහි අන්තර්ගත කිසිවක් රචකයාගේ නිසි අවසරයකින් තොරව කිසිදු මාධ්‍යයක් තුලට අන්තර්ගත කිරීම වරදකි. මෙහි ඇති ඇතැම් චායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලද චායාරූප වේ*****



















No comments:

Post a Comment